Wednesday, 18 December 2024

කාලි දේවියගේ ශාපයට ලක්වුන රූස්ස ගහවත්තේ වතු බංගලාවේ අභිරහස.

කොහොමද මගේ යාලුවනේ අද මම ලියන්න යන්නේ අපේ ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ තිබුණු අපූරු ගණයේ ටෙලි නාට්‍යයක් ගැන. ඒ තමයි මායා රංග.


මායා රංග නම ඇහුණ ගමන්ම හිතට එන්නේ ගුප්ත බිය මුසු හැඟීමක්. ඝන මීදුමෙන් හාත්පස වැසී ගිය වතු බංගලාවක ගුප්ත පෙනුමක් සමග හාත්පස ඇති නිශ්ශබ්දතාවය ඒ නාට්‍යයේ රූප රාමු අපිව  බියට පත් කරනවා.

ලංකාවේ බිහි වුණ  horror ,Thriller , Mystery , romance  ගණයට අයත් වුණ ටෙලි නාට්‍යයක් තමයි මේ මායා රංග කියන්නේ.

මෙම නාට්‍යයේ තිර රචනය මහාචාර්ය නිමල් සේනානායකයක මහතාගේ වන අතර ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ අනුරුද්ධ ජයසිංහ මහතා. ඒ වගේම මේ ටෙලි නාට්‍ය විකාශනය වුණේ  ජාතික රූපවාහිනියෙන්.

ප්‍රධාන චරිත තුනක් වටා මෙම ටෙලි නාට්‍ය ගෙති ඇති ආකාරය විශේෂ වෙනවා. මේ නාට්‍යයේ  අවශ්‍යම චරිත පමණක් යොදාගෙන සිදු කර ඇති නාට්‍යක්. අධ්‍යක්ෂවරයා වන අනුරුද්ධ ජයසිංහ මහතාගේ  නිර්මාණවල බොහෝ දුරට එම ලක්ෂණය දකින්න පුලුවන්.

මනෝරී කියන ධනවත් යුවතිය එංගලන්තයේ සිට තමන්ගේ මිතුරිය වන බියුලා සමඟ ලංකාවට එනවා. මනෝරී හෘද රෝගියෙක්. බියුලා ඇගේ හොඳම යෙහෙළිය වගේම ඇගේ  උදව්වට සිටින කෙනා වෙනවා.

නාගරික ජීවිතයෙන් මිදිලා නිදහසේ ජීවත්වෙනන සිතෙන මනෝරිට රංජන් නම් ඉඩම් අලෙවි නිලධාරියෙක් හම්බ වෙනවා. ඔහු වතු බංගලාවක් විකිණීමට අදහස් කරගෙන සිටින අතර ඒ වතු බංගලාව තුළ සිදු වූ අද්භූත සිදුවීම් නිසා කිසි කෙනෙක් ඒ බංගලාව  මිලට ගන්න අකමැති වෙනවා.

රන්ජන් මනෝරී සහ බියුලා වතු බංගලාව බලන්න ගිහින් මනොරි බංගලාවට කැමති වෙලා, බංගලාව මිලදී  ගන්න තීරණය  කරනවා.

ඊට පස්සේ  මනෝරි හා රංජන්ගේ යාලුකම ආදරයක්  බවට පෙරළෙනව. මෙම සම්බන්ධයට බියුලා අකමැති වෙනවා. කොහොම උනත් පස්සේ  මනෝරි රංජන් එක්ක විවාහ වෙනවා.

දැං තුන්දෙනාම වතු බංගලාවේ තමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා බියුලා සහ රංජන් අතර ආරවුල් පටන් ගනන්වා.

මේ කතාවේ  බියුලා සහ රංජන් කලින් හඳුනන දෙන්නක් විදියට දක්වන ඉඟි  බිඟි දකින්න පුලුවන්. දෙන්නා අතර රහස් කතා බහ, අමුතු හැසිරීම්, මේ නාට්‍ය පුරාම දකින්න පුලුවන්. මේ නාට්‍ය ඉතාමත් ගුප්ත තිගැස්සෙන සුළු හැඟීම් ජනිත වන ටෙලි නාට්‍යයක්.

මනෝරි විදියට රංගනයෙන් දායක වෙන්නේ  දිල්හානි ඒකනායක මහත්මියයි. ඇගේ රංගනය ඇගේ  පරාසය තුළ ඇය ජීවත් වෙලා තියෙන බව මේ නාට්‍ය බලනකොට අපිට අවබෝධ වෙනවා. සැමියා සහ මිතුරිය අතරට මැදි වන අහිංසක යුවතියක විදියට ඇගේ රංගනය ඇය උපරිම ලෙස ලබලා දීලා තියනවා.

රංජන් විදියට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ බිමල් ජයකොඩි මහතා. ඔහුගේ රංගනයත්  ඉතාමත් ඉහළ ය.  තේරුම් ගත නොහැකි ගුප්ත මිනිස් චර්යාවන් සහිත ඔහුගේ රංගනය ඇතුලේ කපටිකම, ආදරය, ඉවසීම වැනි ලක්ෂණද පෙන්නුම් කරනවා.

මේ ටෙලි නාට්‍යයේ හොඳම රඟපෑම වෙන්නේ බියුලා ලෙස රංගනයෙන් දායක වෙන නිල්මිණී  තෙන්නකෝන් මහත්මියගේ රංගනයයි. අනෙක් චරිත දෙක අභිබවා ඇගේ රංගනය ඉහලම තලයේ ඉන්න බව කියන්න පුලුවන්.

මෙම නාට්‍යයේ නිල්මිණී තෙන්නකෝන් මහත්මිය රඟපෑ වෙනස්ම චරිතයක් වෙනවා.  පුංචි තිරය අහිංසකාවී යන  ටයිටල් එකෙන් මිදුණු silent lady killer  කෙනෙකු වැනි චරිතයක් ඇය නිරූපණය කරනවා.

"හොඳ මූණ පෙන්නගෙන යටින් ගේම දෙනවා""

වැනි  චරිතයක් තමයි ඇය රඟදැක්වුවේ.  ඒක දක්ශ  රඟපෑමක්.

ඉවසීම, රැවටීම, මුළා කිරීම ,වෛර කිරීම ආදරය කිරීම, බිය ගැන්වීම, පළිගැනීම, අනුකම්පා කිරීම වැනි මිශ්‍ර හැඟීම් සහිත චරිතයක් විදියට බියුලා හඳුන්වන්න පුලුවන්.

පී. ගංගොඩතැන්න කියන රංගන ශිල්පියා සාදරිස්  විදියට මෙහෙ කරුගේ චරිතය ඉතා අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ඔහු හැරුණත් බිය උපදවන ආකාරයේ චරිතයක්. පාලිත සිල්වා, නිලන්තී විජේසිංහ මෙම නාට්‍යයේ සෙසු චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. 

කොහොම වුණත් අනුරුද්ධ ජයසිංහයන්ගේ නිර්මාණයන් තුළ තිබෙන ගුප්ත බව උපරිමයෙන් දැනෙන ටෙලි නිර්මාණයක් විදියට මේ මායාරංග ටෙලි නාට්‍ය හඳුන්වන්න පුලුවන්.

විශේෂයෙන්ම රුවන් වීරසේකරයන්ගේ සංගීතය ටෙලි නාට්‍යයේ  භයංකාරත්වය තවත තීව්‍ර කරන අංගයක් වෙනවා. ක්ෂණිකව අපව තිගැස්සෙන සංගීත ඛණ්ඩයන් මුළු ටෙලි නාට්‍ය පුරාම අපට දැනෙන්නනට රුවන් විජේසේකර මහතා කටයුතු කරලා තියෙනවා. 

රූස්ස ගහවත්තේ බංගලාවේ අවසානයේ ඉතා ඛේදවාචකයකින් අවසන් වේ..

බ්මල් සහ දිල්හානි පෙනී සිටින එක් ජවනිකාවක් තවමත් මතකයෙන් අමතක කරන්න බෑ. කැබ් රථයක පිටුපස කොටසට දාලා ටෙන්ට් රෙද්දකින් වහලා තියෙන මළ මිනියක් දිල්හානි අතින් විවුර්ත කරන අවස්ථාව ඇගේ කෑ ගැසීම අපිත් තිගැස්සෙන ජවනිකාවක්. බිය දුක වේදනාව මිශ්‍ර ඒ හැඟීම කියා නිම කරන්න බෑ.

මායාරංග කියන්නේ සරලවම කිව්වොත් මායවක්  නොවූ තවත් එක් සිදුවීම් මාලාවක්.

Thursday, 12 December 2024

හොඳම මිතුරෝ

 දිනක් මාගෙන් කුඩා දරුවෙක් විමසූ කතාවක්.

සොහොයුරිය, ඔබට කවදා හෝ හොඳම මිතුරියක් මුණ ගැසී තිබේද? ඇය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට යාමේදී මගේ හදවත ගොලු විය. මගේ සිත අතරමං විය. කාලයෙන් කාලයට ආ එක් එක් වේශ මවාගත් යහලුවන් බොහෝමයක් මට හමු වී ඇත. නමුත් ඔවුන් මාගේ හොඳම යහලුවන් බව සිතේ තබා ගත්තද, ඔවුන එසේ නැත.


එය සියලු දෙනාට සිදුවබ ලෝක ස්වභාවය යැයි මා බොහෝ අවස්ථාවන් වලදී සිය්හේ මවාගත්තද සිතෙන් අත් හළ යුතු කාරණාවක් නොවේ. ජීවිතයේ එක් එක් කාර්තු වල මට ලැබුණු යාලුකම් විවිධාකාර වේ. හොඳ යහලුවන්, නරක යහලුවන්, හොඳ නරක දෙකම ඇත. මිතුරන් වැනි බොහෝ පිරිස් මා හට හඳුනාගෙන ඇසුරු කිරීමට ලැබී ඇත. 

පාසල් වියේ දීද මා හට එසේමය. ඒ නිසා මා මානසික වශයෙන් වැටුණු අවස්තාද එමටය. නමුත් මා හට යා යුතුව ගමනක් ඇතැයි සිතා එවැනි දේ අමතක කර යාමට මා සිතා ගත්තේය.


ඉන්පසු මා හට සරසවි වරම් ලැබුණි. එතුළදීත් විවිධාකාරයේ සිතුම් පැතුම්, ගති පැවතුම් ඇති විවිධ වේශයන් මවා ගත් විවිධාකාර යහලුවන් බොහෝ ප්‍රමාණයක් සිට ඇත. නැවතත් පියවි සිහියට ආ මා මගෙන් ප්‍රශ්නය ඇසූ මිතුරියට මෙසේ කීවෙමි.


මා හට හොඳම මිතුරියක හෝ මිතුරෙකු නොසිටීම පිළිබඳව මම ඉතාමත් තෘප්තිමත් වෙමි. යහලුවන් සිටි නමුත් හොඳම මිතුරියන් මිතුරෙකු නැත. මන්ද, වාසොයට හෝ අවාසියට ළඟට එන්නා වූ මිතුරන්ට වඩා තනිව සිට තනිව නැඟිට යාමට මට ශක්තිය ඇති නිසාය. සරසවිට අදටත්, මතුවටත් මා හට දේවල් උගන්වාවි. සරසවිය තුළ අප සිටින්නේ තව සුලු කාලයකි. ඒ නිසා තනිව නැගිට ඉදිරියට යාමට සැමවිටම කටයුතු කරන්න.

Tuesday, 10 December 2024

AMARAN ගැන මගේ මතය❤

හායි මගේ යාලුවනේ.. කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද හැමෝම.

Amaran බලපු අයගේ රිවීව්ස් දැකලාම අවසානය ගැන දැනුණ නිසා බලන්නේ නැතුව ඉඳලා අද බැලුවා.




මේ film එකේ චරිත ගොඩක් ඉන්නවා. එතනින් කැපිලා පේන්නේ මේජර් මුකුන්ද්, ඉන්දු රෙබේඛා වර්ගීස් කියන දෙන්නා. මේ චරිත නිරූපණය කරන්නෙ දමිළ සිනමාවේ දක්ශ නලුවෙක් සහ නිළියක් වන, ශිවකාර්තිකේයන් සහ සායි පල්ලවී යන දෙදෙනා.

මේජර් මුකුන්ද් ගැන කියන්න වචන නෑ...වචනෙන්ම කිව්වොත් ආමිකාරයා ඇතුලේ නියම මනුස්සයෙක් හිටියා. ආමිකාරයෙක් හිත් දැඩි උනාට එයාගෙ හදවත හරිම ලස්සනයි කියන එක මේජර් මුකුන්ද්ගේ චරිතයෙන් දැනුනා.


මට ගොඩාක් දැනුණේම මුකුන්ද් ඉන්දු දෙන්නා ගේ ආදරේ..ඒ දෙන්නා ඉන්දු කියනවා වගේ ගොඩාක් හිටියේ දුරස් වෙලා.. ඒත් ආදරේ තේරුම් ගැනීම එකිනෙකාට තියෙන බැඳීම ශක්තිමත්..
ඒ බැඳීම ෆිල්ම් එකක් විදියට හරිම ලස්සනට පෙන්නුවා.

සායි පල්ලවී සහ ශිව කාර්තිකේයන්, ඉන්දු මුකුන්ද් ම වුණා. සායි ගේ කටහඬ එක්ක මුලු ෆිල්ම් එකේම මට සායි ගේ මූණේ හැඟීම් පෙන්නන විදිය තමා අපිට ෆිල්ම් එක දනවන්නේ කියලා හිතුණා.
ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි ඇස් දෙක රිදෙනවා අඬලාම.


මුකුන්ද් කිව්වනෙ එයා මැ රු ණත් අඬන්න එපා කියලා.
ඉතින් ඇත්තටම ඉන්දු අඬන්න නැතුව ඇති. ඉන්දු ඇත්තටම ඒ හැඟීම් දරාගත්ත විදිය අපිට පෙනුණේ සායි ගෙන්..


ඇත්ත තිත්තයි කියන්නෙ ඇත්ත.
දුවට මුකුන්ද් අච්චමිල්ලෙයි කියලා දෙන තැන. අච්චමිල්ලෙයි සිංදුව අන්තිමට කියන තැන. එතනත් හරියටම හිතට වදින තැනක්.

මං ඇත්ත ජීවිත කතාවලින් හදපු ෆිල්ම් බලන්න ආසයි.
ඒවාගෙනුත් ආමි එකට සම්බන්ධ කතා වලට හරි ආසයි..
මේක ෆිල්ම් එකක් විදියට අනික් ඒවාට වඩා ගොඩාක් දැනෙන තැන් වැඩියි.


මුකුන්ද්  ගේ අම්මා කියනවා අවුරුදු විසි ගාණක් ලොකු මහත් කරේ මෙහෙම ඈත් වෙලා අවුරුද්දකට සැරයක් දකින්න ද කියලා..
  එතකොට ඉන්දු බැඳලා අවුරුදු ගාණෙන් කී දවස ද මුකුන්ද් එක්ක ලඟ හිටියේ.
මුකුන්ද් ගේ දුව කී දවස ද තාත්තා ලඟ හිටියේ..
ඒ දුව හිතන්නේ තාත්තා ඉන්නේ ටැබ් එක ඇතුලේ කියලා..
  කොච්චර දුක හිතෙනවා ද ඒ ජීවිත ගැන.
 
අන්තිමට මුකුන්ද් ගේ ස්මාරකය ලඟ දි දුව අහන්නෙ තාත්තා ආයේ නිවාඩු එන දවස..
     බලන්නම ඕන ෆිල්ම් එකක්...



ඉතින් 2024 ආපු මේ ලස්සන film එක අමතක නොකර බලන්න, බැලුවනම් ඔයලාට දැනුන අදහසුත් අනිවාර්‍යෙන්ම කියන්න.

Sunday, 13 October 2024

ගතින් නැතත්, හිතින් තරුණ වෙන්න ඕනෙද? එහෙනම් මතක පොතක් අනිවාර්යයෙන් ඔයා ළඟ තියාගන්න❤

ජීවිතේ හරිම පුදුම විදියට වෙනස් වෙනවා නේද ? ඒත් එක්කම අපි එන්න එන්නම වයසට යනවා. අපි තරුණ කාලේ කරපු කියපු දේවල් ඒ විදියටම වයසට ගියාම කරන්න බැරි වෙනවා. හැමදාම පුංචි කාලේ, තරුණ කාලේ තියෙන්නෙ නෑනේ නේද? ඉතින් එහෙම හිතනකොට ගොඩ දෙනෙක්ට ඇති වෙන්නෙ දුකක්.

මම හිතන්නෙනම් අපි දුක් වෙන්න ඕනේ නෑ කියලා. මොකද අපිට ගතින් තරුණ වෙන්න බැරි උනත්, හිතින් තරුණ වෙන්න අපිට පුලුවන් නිසා. 

ඒ කොහොමද කියලා අද මම ඔයාලා එක්ක බෙදාගන්න තමයි යන්නේ. 😁

ඉස්සර කාලේ අපේ රටේ රජවරුත් මේ දේ කරලා තියෙනවා. ඒවට කිව්වෙ පිං පොත් කියලා. කරපු හොඳ වැඩ ඒ පොතේ ලියනවා. එතකොට කවදාවත් හිතින් දුක් වෙන්න තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. පුංචි කාලේ අපිටත් එහෙම ගුරුවරු කියලා තිබුණට ඒවා කළේ කීයෙන් කී දෙනාද? ඔහොම තමා ඉතින් ජීවිතේ. අමතකවීම් හැමෝටම වෙනවනේ😌

මම කියන්නෙ පිං පොතක් ලියන්න කියලා නෙමෙයි. මම කියන්නේ තමන්ගේ මතක, තමන්ට ලැබුණ ජයග්‍රහණ, කඩාවැටීම් ගැන දවසින් දවස ලස්සනට ලියවෙන මතක පොතක් ලියන්න කියලා❤


මොකද දන්නවද, කවදාමහරි දවසක ඒ මතක පොතේ ඔයාගෙ අකුරින් ලියපු මතක කියවනකොට ඔයාට ඉබේම තරුණ කාලෙට, ළමා කාලෙට යන්න පුලුවන් වෙයි. ඔයාටම හිතෙයි අනේ මම කොච්චර ශක්තිමත් කෙනෙක්ද, එහෙමත් නැත්තන් මෝඩ කෙනෙක්ද, ඒ වගේ ඕන දෙයක් ඔයාට ඒ මතක පොත ආයෙම කියවනකොට තේරෙයි. ඔයාට ඔයාගෙ දුර්වලතා, හඳුනාගන්න පුලුවන් වෙයි. එදා හිටපු ඔයයි, අද ඉන්න ඔයයි ඔයාට සන්සන්දනය කරන්නත් පුලුවන් වෙයි. ඔයාගෙ මතක ආයෙ කියවන්න ලස්සනට ලියලා තියාගන්න. මොකද, ඒවා තමයි අපි කොච්චර පරිණත වෙලාද කියලා දකින්න පුලුවන් සාක්ශි ❤

ඒක නිසා ලස්සන මතක පොතක් ලියන්න උත්සාහ කරන්න..❤



Saturday, 12 October 2024

පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැද්ද? 😒 මේ දේවල් කරොත් මතක හිටින ප්‍රතිශතය වැඩි වේවි.

හායි මගේ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට, ඔන්න ඉතින් අද මම වෙනස් විදියේ ලිපියක් තමයි අරගෙන ආවේ. මේකේ තියෙන්නේ මම පාඩම් කරන්න යනකොට කරන පුංචි Tips  ටිකක්.  කියවලා  බලලා අදහස් කියන්නකෝ. ලියලා තියෙන විදිය අනිත් ඒවට වඩා වෙනස්, ඒත් මම හිතනවා ඔයාලා මේක ආසාවෙන් කියවයි කියලා. 


ලංකාවේ අධ්‍යාපන රටාව තුළ මතකයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝ දෙනාගේ විභාග සඳහා වැටකඩොලු බඳින්නේ මෙම මතකයයි. 

" මට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නෑනේ" 

යන වදන බොහෝ සිසුන්ගෙන් ඇසෙන සුපුරුදු වදනක්. එම නිසා අද දවසේ මෙම ලිපිය වෙන්වන්නේ මතකය නිවැරදි ලෙස මතක් කිරීමට පහසුවෙන්  යොදාගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳවයි.


1. පාඩම් කරන පරිසරය පිළිවෙලට තබා ගන්න.



පාඩම් කිරීම යනු කලාවකි. එම කලාව සඳහා සම්බන්ධ වීමට නම්, අපට පිළිවෙල, පිරිසිදුකම කියන දෙය බොහෝ සෙයින් වැදගත් වෙනවා.  බොහෝ විට පාඩම් කරන දේ මතකයට යාමට තමා පාඩම් කරන ස්ථානය පිළිවෙලට, පිරිසිදුවට තබා ගැනීම නිසා හැකියාව ලැබෙනවා. එම නිසා ඔබ පාඩම් කරන ස්ථානය පළමුව පිළිවෙලට හා පිරිසිදුවට තබා ගන්න.







2. සුවබර නින්දක් ලබා ගන්න.


නින්ද යනු බොහෝ දෙනා නිරෝගී මෙන්ම රෝගී කරන්නාවූ සාධකයකි. සුවදායී නින්දක් යනු ඔබව නිරෝගී පුද්ගලයෙක් කරන අතරම, ඔබට නිරෝගී මනසක් ලබා දෙන්නකි. නිරෝගී පුද්ගලයෙක් සඳහා පැය 6 ක පමණ නින්දක් ලබා ගත යුතුය.





3. කාලය කලමනාකාරණය කර ගන්න.

කාල කලමණාකරණය යනු මතකය සඳහා බෙහෙවින් උපකාරී වන සාධකයකි. බොහෝ පුද්ගලයින් අසාර්තක ජීවන රටාවකට හුරු වන්නේ නිවැරදි කාල කළමනාකරණයක් නොමැති නිසාය. පාඩම් කිරීමට කැමැත්තක් දක්වන වේලාව සෑම දෙනාටම එක ලෙස නොවේ. මෙය පාඩම් මතක සිටීමට වැදගත් වන සාධකයකි. ඇතැම් පුද්ගලයෙකුට පාඩම් කිරීමට කැමැත්තක් දක්වන්නේ රාත්‍රී කාලයේ වන්නට පුලුවන්. ඇතැම් අයට දහවල් කාලයේ පාඩම් කිරීමට කැමැත්තක් දක්වන්නට පුලුවන්. ඒ නිසාවෙන් තමා පාඩම් කිරීමට කැමැත්තක් දක්වන වේලාව තෝරාගනිමින් කාල සටහන් සාදාගන්න.




4. පාඩම් කරන දේ සඳහා අවධානය දෙන්න.


අවධානය නොමැති වීම තුළින් බොහෝ අවස්ථාවන් තුළදී විෂයන් මතක සිටීමේ ප්‍රවණතාවය අඩු වේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මනස සන්සුන් නොවීමයි. එම නිසා මනස සන්සුන් කර ගනිමින් පාඩම් කිරීමට යොමු වන්න. උගන්වන අවස්තාව තුළදී මෙම අවධානය යන්න ඉතාමත් වැදගත් වේ. උගන්වන පාඩම් මාලාව අවධානයෙන් අසා නොසිටියහොත් නැවත පාඩම් කරන අවස්ථාවේ ඔබට එම පාඩම පිළිබඳව විවිධ ගැටලු ඇති වේ. එම නිසා උගන්වන අවස්ථාවේ අදාල විෂය කරුණ පිළිබඳ අවධානයෙන් අසා සිටීම තුළින් විෂය කරුණ පහසුවෙන් මතකයේ තබා ගැනීමට හැකියාව ලැබේ.


5. කැමති විෂයකින් පාඩම ආරම්භ කරන්න.

කැමති විෂයන් සහ අකමැති විෂයන් බොහෝ දෙනා සතුව ඇත. අප කැමති විෂයකින් පාඩම් කිරීමට පටන් ගත් විට  ඉතාමත් ආසාවෙන් සහ උනන්දුවෙන් එම විෂය කරුණු මතකයෙහි තබා ගැනීමට කැමැත්තක් දක්වනු ලබයි. එම නිසා කැමති විෂයකින් පාඩම ආරම්භ කරමින් ටිකෙන් ටික කැමති සහ අකමැති පාඩම් මිශ්‍ර කරමින් පාඩමෙහි නිරත වන්න.




6. එක දිගට පාඩම් කිරීම නවත්වන්න.

බොහෝ දෙනා පාඩම් කිරීමට යන විට එක සිගට විවේකයක්වත් නොගෙන පාඩම් කිරීමට තැත් කරයි. නමුත්, එය සාර්තක ක්‍රමයක් නොවේ. පාඩම් කිරීමේදී අප වෙහෙසන්නේ අපගේ ඇස් දෙක සහ මොළයයි. එම නිසා මොළයට සහ ඇස් දෙකට විවේකයක් අවශ්‍ය වේ. බොහෝ වෙලාවට විවේකයක් නොලැබ පාඩම් කිරීම තුළින් නැවත නැවත පාඩම් කිරීමට මැලි කමක් දක්වන්නටද පුලුවන්. එම නිසා පාඩම් කරන අතරතුර පැය බාගයෙන් බාගයට විවේකයක් ලබා ගන්න. විවේකය ලබා ගන්නා අවස්තාවේ පාඩම් කරන ස්ථානයේ නොසිට එළිමහනට ගොස් නැවත පාඩම් කරන ස්ථානයට පැමිණ පාඩම අරඹන්න.




7. පාඩම් කරන දේ  නැවත නැවත මෙනෙහි කරන්න.


අප පාඩම් කිරීමේදී පාඩම් කරන විෂය කරුණු බොහෝ විට කෙටිකාලීන මතකයෙහි තැන්පත් වේ. එම නිසා දින කිහිපයකින් පසුව අපේ කෙටි කාලීන මතකයෙහි තිබෙන විෂය කරුණු නැති වී යයි. එය අවම කර ගැනීමට අපට දිගු කාලීන මතකයට අප පාඩම් කරන විෂය කරුණු තැන්පත් කිරීමට අවශ්‍ය වේ. ඉගෙනගත් විෂය කරුණු දිගු කාලීන මතකයෙහි තබා ගැනීමටනම්, එම විෂය නැවත නැවත මෙනෙහි කළ යුතුය.



8. තමන්ට ආවේණික විවිධ ක්‍රම අනුගමනය කරන්න.

බොහෝ දෙනාට මතකය අමතක වනවා යැයි පවසන්නේ සාම්ප්‍රදායික රාමුවේ ක්‍රම ඔස්සේ පාඩම් කිරීම ආරම්භ කරන විටයි. නමුත් තමාට කැමති, තමාට ආවේණික ක්‍රම භාවිතා කළහොත් ඔබට පාඩම මතකයෙහි රැඳෙන ප්‍රමාණය වැඩි වේ. එවැනි ක්‍රම කිහිපයක් නම්,


  1.  පාඩම් කරන දේ ශබ්ද නඟා පාඩම් කරන්න.
  2. සිතියම් වැනි දෑ ඇඳ ඉගෙනත් කරුණු සිතියම තුළ ලියන්න.
  3. පාඩම් කළ දේවල් නැවත නැවත කටු සටහන් කරන්න.

Monday, 7 October 2024

පොතකට පුලුවන්ද ජීවිතේ වෙනස් කරන්න 🤔

 ඔව්, අනිවාර්යයෙන්ම පොතකට පුලුවන් ජීවිතේ වෙනස් කරන්න. අද ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් ඔන්න ඊයෙන් ඉවරයි. කොහොමත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් වලට කැමති අයට පිස්සුවක්නේ..

මම අද ලියන්නේ ගිය අවුරුද්දේ මම පොත් ප්‍රදර්ශන කුටි වලට ගිහින් පීර පීර හොයපු පොතක් ගැන.

Forget me not

(මල් කිණිත්තක පුරාවුර්තය) මෙන්න මේක තමයි ඒ පොත. 2023 වර්ෂයේ සමාජමාධ්‍ය හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් වුණ පොතක් තමයි මේ පොත. ගොඩක් දෙනෙක් පොත් කඩවල් ගානේ පීරලා හොයපු පොතක්.

මේ පොතේ ලියලා තියෙන්නේ චරිතා ප්‍රවර්ධි බණ්ඩාර සහ  චතුරි දමයන්ති යන ලේඛිකාවෝ දෙන්නා. 

ඇත්තටම මේ පොත ඇතුලේ තියෙන්නේ මනුස්සයෙක් සුවපත් කරන්න පුලුවන් මැජික් අකුරු ටිකක්. මේ පොත ලියවිලා තියෙන්නේ මානසික රෝගයන්ගෙන් පෙළිලා ඉන්න අය වෙනුවෙන්. ආදරයෙන් පැරදුනු. නමුත් තාමත් ආදරය විශ්වාස කරන අය වෙනුවෙන්ම ලියවුණු පොතක්. 

ඉස්සර අපි පොඩි කාලේ ඉගෙනගන්නවනේ පෑනේ මිතුරෝ කියලා. ඉතින් මේ පොතේ ඉන්නේ ඒ වගේ පෑනේ මිතුරියෝ දෙන්නෙක්. ඕල්යා සහ යුමී සං කියන්නේ ඒ පෑනේ මිතුරියෝ දෙන්නා. ඒ දෙන්නාගේ මේ ලියුම් හුවමාරුව අපේ මනස සුවපත් කරනවා වගේම ඒ පොත ඇතුලේ පිටු පෙරලන්න බල කරමින් අපිව ජීවත් කරනවනවා.  

ඇත්තටම මේ පොත කියවනකොට දැනෙන්නෙ හරිම සන්සුන් හැඟීමක්. ඒ හැඟීම දැනවෙන්න ලියන එක කෙනෙකුට කරන්න අමාරු දෙයක්. මේ පොත කියවනකොට හිතෙන්නෙම අපි ආදරේ ගැන මොනවද දන්නේ කියන එකයි. 

අනිවාර්යයෙන්ම මේ පොත කියවලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මම කියපු කතාව ඇත්ත කියලා..



Tuesday, 27 June 2023

සිංදු අහන ගමන් Mind එක Relax කරගමු.❤

 හායි මගේ යාලුවනේ... කොහොමද ඉතින්... ගොඩක් දවසකට පස්සේ මම ඔන්න ආවා ඔයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේ දවස්වල ඉතින් අහස උසට ආර්ථිකේ ඉහල ගිහින්නේ. ඒ මදිවට දැං අව්ව සැරත් අහස උසටම නැගලා😁 කොහෙ හරි යන්නත් හරි mind set එකක් නෑ මේ රස්නෙත් එක්ක. එහෙම කියලා ඉතින් කරන්න තියෙන රාජකාරි නොකර ඉන්න බෑනේ. 

ඉතිං ඉතිං අපි අදත් ලස්සන මාතෘකාවක් කතා කරමුකෝ.. සිංදු ගැන මොකද ඔයාල හිතන්නේ🤔 අද වෙනකන් ලංකාවේ ලියවිලා තියෙන සිංදු කොයි වගේද කියලා හිතන්නේ ඔයාලා. ඔව් ඔව් ඉතින් දැං කාලෙ සිංදු හොඳ නෑ කියලා හැමෝම කියනවා තමයි. හැබැයි ඒ සිංදු වල තියෙන music එක නරක නෑ... මං එහෙම කියන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රිය උන සිංදු ජනප්‍රිය වෙලා තියෙන්නෙ ඒකේ තියෙන music track එකට කියලා මට හිතෙනවා. මොකද ඒ ගැන ඔයාලා කියන්නේ? 

Music කියලා කියන්නේ අපේ mind එක relax කරගන්න කියාපු ඖෂධය. මොකද දන්නවද මං එහෙම කියන්නේ. අපි මොනාහරි අවුලකින් ඉන්නවනම් අපිට ඒකෙන් ගැලවෙන්න, ඒක අමතක කරන්න music එකක් හරි සිංදුවක් හරි අහන එක වටිනවා. මොකද, අපිට ඒකෙන් අපිට තියෙන ප්‍රශ්නේ අමතක වෙනවා. Music අහන එකත් අපි ඉන්න ප්‍රශ්නේ අනුව වෙනස් වෙනවා. ඔයා දුකින් ඉන්නවනම් දුක හිතෙන music එකක් අහන්න එපා✋. හිත නිවෙන music එකක් අහන්න. ඒක ඔයා කැමති විදිය අනුව තීරණය කරන්න ඕනි. මං දුකින් ඉන්නකොට අහන්න කැමති මොන music එකද? මං සතුටින් ඉන්නකොට අහන්න ඕනි මොන music එකද කියලා ඔයාලම තමා තීරණය කරන්න ඕනි.

එතකොට ඔයාගෙ හිත අනිවාර්යයෙන් ඔයාට relax කරගන්න පුලුවන්. Music කියලා කියන්නේ දුකේදිත්, සතුටෙදිත් අපි ළඟ ඉන්න පුලුවන් දෙයක්. Music subject එකක් විදියට කරන අයට විතරක් නෙමෙයි, Music subject එකක් විදියට නොකරන අයටත් music අහලා තමන්ගේ mind එක relax කරගන්න පුලුවන්🤗❤

ලස්සන music අහන්නත් ලස්සන සිංදු තියෙන්නත් ඕනි. Music වලට ආදරය කරන්න. ඒක විශ්ව භාශාවක්. ඕනිම කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් ❤ජීවිතේට music ළං කරගන්න. එතකොට ඔයාගෙ ඔය stress එක නැති වේවි. කියනවට කරලා බලන්න පොඩ්ඩක්😁 
ඔන්න ඉතිං කතාවෙන් කතාවේ මට දැං යන්න වෙලා. ආයෙ දවසක එන්නම් තවත් ලස්සන දෙයක් අරගෙන. ඒ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න...❤

Tuesday, 13 June 2023

ආදරයට ආදරය කරන්න❤

ආදරය කියන්නේ හරි පුදුම දෙයක්.....❤ ඒක නිර්වචනය කරන්නත් අමාරුයි කියලා තේරුම් ගැනෙන්නේ අපි පරිණත වෙනකොට.. අද මං කතා කරන්න යන්නේ ආදරේ දැනෙන එක පැත්තක් ගැන❤ ඒ තමයි සත්තුන්ගේ ආදරේ❤

මේ ආදරේ මට දැනුනේ මං campus එකේ ඉන්න වෙලාවක. මං campus එකේ කෑම කනකොට මගෙ ළඟට බලු පැටියෙක් ඇවිත් එයාගෙ ඔලුව මගෙ කකුල උඩින් තිබ්බා... මම සාමාන්‍යයෙන් සත්තුන්ට බය කෙනෙක්.. ඒක නිසා මං ගොඩක් බය උනා මාව හපයි කියලා.. බලු පැටියට යන්න කියන්න හිතුනත්, මම එතනින් හෙල්ලුනොත් මාව හපයි කියලා මට බය හිතුනා... ඒක නිසා මම හෙල්ලෙනෙ නැතිව ඉඳගත්ත විදියටම එහෙම්මම හිටියා..

අනේ ඉතින් විනාඩි පහක් වගේ වෙලාවක් ඔහොම මගෙ කකුල උඩ ඔලුව තියාගෙන ඒ බලු පැටියා හිටියා. එයා හරිම අහිංසක බැල්මක් තමයි දැම්මේ.. ඊට පස්සේ මට තේරුණා මාව ඒ බලු පැටියා හපන්නෙ නෑ කියලා... ඉතින් එයාට ඕනි උනේ එයාගේ චූටි බඩ පුරවගන්න කෑම වේලක්🥺❤ කෑම එක කකා හිටපු මට බත් කන්න හිත දුන්නේ නෑ ඒ බලු පැටියගේ අහිංසක බැල්ම දැක්කාම. 

ඒත් campus එකේ canteen එක ඇතුලේ සත්තුන්ට කෑම දෙන්න බැහැ. ඒක නිසා ඒ බලු පැටියට කෑම දෙන්න උනේ නෑ...😞 මං ගොඩක් දුකින් තමයි canteen එකෙන් එළියට ගියේ.. ඊට පස්සේ මං දැනගත්තා අපි කන කෑම වලින් ඉතුරු කරන කොටස් ඒ පුංචි බලු පැටවුන්ට කන්න දෙනවා කියලා.... ඒක දැනගත්තට පස්සේ මට සතුටක් ඇති උනා අනේ ඒ පැටවු බඩගින්නෙ නෑ නේද කියලා..❤ 

අපේ campus එකේ බලු පැටවු ගොඩක් ඉන්නවා... හැබැයි එයාලා කවදාවත් මං දැකලා නෑ මනුස්සයෙක් පස්සේ පන්නගෙන හපන්න යනවා. එයලා හැම වෙලාවෙම කරන්නෙ අපේ campus එකේ මනුස්සයෙක් දැක්කාම සතුටු වෙලා නැට්ට වනන එක.... මොකද එයාලා කළගුණ කියන දේ හොඳට දන්නවා... ඔන්න ඉතින් මට අර බලු පැටියට කෑම දෙන්න බැරි උන එකට මං දුකින්නේ හිටියේ. ඊට පස්සෙ මට ආයෙමත් චූටි බලු පැටියෙක් හම්බුනා.. එයත් අරයා වගේම අහිංසක මූණක් දාලා කෑම ඉල්ලුවා.. මං ගොඩක් සතුටින් එයා එක්ක මගේ කෑම එක share කරගත්තා🤗. 


ජීවිතේදි අපි මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරය කරනවා.. එයාලත් එක්ක අපේ ජීවිතේ බෙදාගන්නවා. ආදරය ඇතුලේ සත්තු කියලා කියන්නේ මිනිස්සුන්ට විශේෂ කොටසක්.. තනිකම positive විදියට දකින්න, ජීවිතේ අලුත් බලාපොරොත්තු හදාගන්න සත්තුන්ගේ ආදරේ අපිට ඕනි වෙනවා.. සමහර අය කියන්නේ අපිට මිනිස්සු විශ්වාස කරනවට වඩා සත්තු විශ්වාස කරන එක ගොඩක් හොඳයි කියලා... මොකද සත්තු කියන්නේ කළගුණ හොඳටම දන්න අය... ඒ ආදරේ නපුරු වෙන්නේ අපි නපුරු දේවල් කරනකොට.. එහෙම නොකරාම ඒ ආදරේ නපුරු වෙන්නේ නෑ... ඒක නිසා ආදරේට හැමදාම ආදරය කරන්න🤗❤

Friday, 9 June 2023

තනිකම Positive විදියට දකිමු🤗

හායි මගෙ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. හොඳින් ඇති කියලා හිතනවා..🤗 අද මට මේ බස් එකේදි යනකොට හිතුන දෙයක් ඔයාලා එක්ක කියන්න හිතුනා.. ඒක ජීවිතේට වැදගත් වෙනවද? නැද්ද? කියන එක ඔයාලා තීරණය කරන්න...

මං කලිනුත් ඔයාලට කිව්වනේ අපේ ජීවිතේ හරි රහයි කියලා. ඒ ජීවිතේ හරි රහ වෙන්න බලපාන එකම එක දෙයක් තමයි තනිකම කියලා කියන්නේ. කියමනකුත් තියෙනවනේ, අපි ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙ තනියම කියලා. ඒත් ඔයාලා කවදාහරි දවසක හිතුවද අපි ජීවත් වෙන්නෙ තනියම කියලා? 🤔

අපි ඉපදුන කාලෙ ඉඳලා මැරෙනකම් අපි ජීවත් වෙන්නෙ තනියම. අපි වැඩිපුර වෙලාවක් ගත කරන්නෙ තනියම. ගොඩක් අය නෑ එහෙම නෑ අපි ඉන්නේ යාලුවෝ, පවුලේ අය එක්ක කිව්වට ගොඩක් දෙනා ඉන්නේ තනි වෙලා තමයි. පවුලේ එකම ළමයට විතරක් නෙමෙයි ජීවිතේ තනිකම දැනෙන්නෙ. සහෝදර සහෝදරියෝ ඉන්න අයටත් තනිකම දැනෙනවා.

ගොඩාක් අපට තනිකම දැනෙන්නෙ මොනාහරි ප්‍රශ්නයක් උනාම. මේ ලෝකේ මට කවුරුත් නෑ කියන හැඟීම ඇති වෙන්නේ අන්න ඒ වෙලාවට. කොහොම උනත් අපි අපිට දැනෙන තනිකම positive විදියට දකින්න ඕනි. ඒ postive විදියට හිතන්න ඕනි විදිය තමයි තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන එක❤

එහෙම කරනකොට ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ගොඩක් අය තමන්ට ආදරේ නැතිනිසා තමයි තනිකම කියන එක ගොඩක් වෙලාවට දැනෙන්නේ. ඔයාට ආදරය කරන්න ගත්තාම හිත රිදීම් ගොඩක් අඩුයි. තනියම තමගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්. ඉගෙනගන්න තැනක, වැඩ කරන ආයතනයක ඔය වගේ තනිවෙන ප්‍රශ්න එන්න පුලුවන්. එහෙම වෙලාවට ඔයා වෙනුවෙන් කාලයක් වෙන් කරලා ඔයාට ආදරය කරන්න❤ 

ඔයා ඔයාට ආදරය කරොත් විතරයි ඔයාට අනිත් අයට ආදරය බෙදන්න පුලුවන් ❤ තනිකම කියන්නේ ජීවිතේ හරි ලස්සන දෙයක්. ඒක අපි හිතන විදියයි වෙනස් කරගන්න ඕනි. කතාවෙන් කතාවෙන් මං බහින තැනටත් ළං වුණා. 

එහෙනම් මේ වගේ ආයෙමත් ලස්සන දවසක හම්බෙමු. ඔයාලට හිතෙන දේත් පහලින් comment කරන්න අමතක කරන්න එපා🤗

   


Wednesday, 31 May 2023

ජීවිතේ හරි රහයි❤



මං මගේ ජීවිතේ ආසම දේ තමයි කොහේ හරි ඇවිදින එක.... කොහේ හරි ලස්සන තැනක් තිබුනොත් මං ගොඩාක් ආසයි ඒ පැත්තේ ඇවිදලා එහේ තියෙන ලස්සන තැන් බලන්න. කොටින්ම කිව්වොත් සංචාරේ කියන්නෙ මගේ ආගම වගේ... අද මම ඔයාලව අරගෙන යන්නේ ඒ වගේ සංචාරය කරන්න ආස අයට යන්න පුලුවන් ලස්සන තැනකට.🤗

මම යන්න ආසම මම යන්න හිතාගෙන ඉන්න පැත්තක් තමයි බදුල්ල කියලා කියන්නේ..😍 අපේ සොබාදහමෙන් ලැබුණු ලස්සන දායාද ටිකක් තියෙන තැනක් තමයි බදුල්ල කියලා කියන්නේ. බදුල්ලේ මං යන්න ආසම තැන තමයි  ආරුක්කු නමයේ පාලම. මේ පාලමට ආරුක්කු හැඩ නමයක් තියෙනවා.. ඒක නිසා තමයි මේකට ආරුක්කු නමයේ පාලම කියලා කියන්නේ.. මෙතන ඉඳලා ගොඩක් අය ලස්සන photos ගහන නිසා තමයි මම එතනට ගොඩාක් කැමති උනේ.. ඒ වගේම එතන මාරම ලස්සනයි 😍


මේ පාලම මුහුදු මට්ටමේ සිට අඩි 3100කට වඩා උසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ පාලම දිගින් අඩි 300 යි. පළලින් අඩි 25යි. උසින් අඩි 80ක් වෙනවා. මෙම පාලම හදලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ. ඒ කියන්නේ 1925 වගේ. දෙමෝදර සහ ඇල්ල යන දුම්රිය ස්ථාන දෙක යා කරලා තමයි මේ පාලම හදලා තියෙන්නෙ.. මේ පාලමේ නිර්මාණය කරනකොට කිසිම සිමෙන්ති වර්ගයක්, වැලි,කම්බි භාවිතා කරලා නෑ.. ලොකු කලු ගල් වලින් තමයි මේ ලස්සන නිර්මාණය කරලා තියෙන්නෙ. 


මම මෙහෙම ඉතිහාසය හොය හොය ඉන්නකොට පාලම ළඟ තවත් ලස්සන දෙයක් මම දැක්කා... ඒ තමයි මේ පාළමෙන් Train එකක් ගියපු එක. ගොඩක් දෙනෙක් මේක බලන්නත් ආස නිසා ආරුක්කු නමයේ පාලම බලන්න එනවා... 

අද දවසේ මගේ කතාව ඉවරයි. තවත් දවසක අපි හම්බෙමු🤗. දවසක ඔයාටත් බදුල්ලේ යන්න ආස හිතුනොත් අනිවාර්යයෙන් ආරුක්කු නමයේ පාලම බලන්න යන්න අමතක කරන්න එපා...❤ 

කවුරු කොහොම කිව්වත් ඔයා.. ඔයාගෙ ජීවිතේ හොඳට විඳින්න.. කවදාහරි දවසක ඉතුරු වෙන්නේ ඒ විඳපු ලස්සන මතක විතරයි.. ජීවිතේ හරි රහයි



කාලි දේවියගේ ශාපයට ලක්වුන රූස්ස ගහවත්තේ වතු බංගලාවේ අභිරහස.

කොහොමද මගේ යාලුවනේ අද මම ලියන්න යන්නේ අපේ ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ තිබුණු අපූරු ගණයේ ටෙලි නාට්‍යයක් ගැන. ඒ තමයි මායා රංග. මායා රංග නම ඇහු...